කෝණ මෑන් හෙවත් ශ්‍රී ලංකා බොක්සින් හිටපු සභාපති ඩයන් ගෝමස්, 2022 වසරේදී පොදු රාජ මණ්ඩලිය ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයින් සහභාගී කරවීමේ මුවාවෙන්, සිදු කරන ලද මිනිස් ජාවාරම පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතිනවා. 2022 ජූලි 28 සිට අගෝස්තු 8 දක්වා එංගලන්තයේ බර්මින්හැම් හී පැවති පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සින් තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 හා පුහුණුකරුවන් 2 සහභාගී විය. මෙම තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් අතුරින් ක්‍රීඩකයින් තිදෙනෙකු තරගාවලිය අතරතුර නීති විරෝධී ලෙස පැන ගොස් ඇත. එලෙස පැනගිය ක්‍රීඩකයින් වන්නේ විමුක්ති කුමාර, සංජීව රාජකරුණා හා නිකලස් විටාලිස් යන ක්‍රීඩකයන්ය. ඊට අමතරව ඉෂාන් බණ්ඩාර නම් ක්‍රීඩකයා නැවත ශ්‍රී ලංකාවට පැමිණ, තරගාවලියට සහභාගි වීම සඳහා ලැබුණු වීසා උපයෝගී කර ගනිමින් ආපසු එංගලන්තය බලා ගොස් නැවත පැමිණ නොමැත.
කෙසේ වෙතත්, මෙලෙස පැනගිය ක්‍රීඩකයින් අතුරින් කිලෝග්‍රෑම් 71 බරපන්තිය යටතේ මෙම තරගාවලියට සහභාගී වූ නිකලස් විටාලිස් ක්‍රීඩකයා මෙම තරගාවලිය සඳහා සහභාගි කරවීමට සුදුසුකම් ලබා නොසිටි අතර, ඩයන් ගෝමස් ගේ මැදිහත්වීම මත මෙම ක්‍රීඩකයා එංගලන්තය බලා රැගෙන යාමට කටයුතු කර ඇත. මෙහිදී පුහුණු කරුවන් කිහිප දෙනෙකු නිකලස් මෙම තරගාවලිය සඳහා එංගලන්තයට රැගෙන යාමට විරුද්ධව කටයුතු කර ඇති මුත් ඒ කිසිවක් මායිම් නොකර ඩයන් ගෝමස් තම තනි මතය අනුව එම ක්‍රීඩකයා එංගලන්තයට රැගෙන යාමට කටයුතු කර ඇත. යම් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගී කරවීමේදී අදාල තේරීම් තරගාවලි ජයග්‍රහණය කර තිබිය යුතුය. ඒ අනුව ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳී නාවික හමුදාවේ ආරියරත්න ක්‍රීඩකයා මෙම පොදුරාජ මණ්ඩලය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට සියලු සුදුසුකම් සපුරා තිබියදීත්, ඔහු මෙම තරගාවලිය සඳහා සහභාගී කර නොගැනීමට ඩයන් ගෝමස් කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රේණිගත කිරීමෙහි පහළ ස්ථානයක රැඳී සිටි නිකල්ස් විටාලිස් මෙම සංචාරය සඳහා සහභාගි කරවීමට ඩයන් ගෝමස් කටයුතු කර ඇත්තේ එංගලන්තයේ වෙසෙන දෙමළ ඩයස්පොරාවේ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙනි.
මෙම තරගාවලිය සඳහා නිකලස් විටාලිස් හට අවශ්‍ය සියලු ඇඳුම් පැළඳුම් එංගලන්තයෙන් ලැබෙන බව ඩයන් ගෝමස් විසින් පවසා ඇති අතර ඒ අනුව ඔහුට අවශ්‍ය කිසිදු ක්‍රීඩා ඇඳුමක් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට කටයුතු කර තිබුණේ නැත. එංගලන්තයේදී ඩයන් ගෝමස් පැවසූ පරිදි නිකලස් විටාලිස් හට අවශ්‍ය ඇඳුම් ලැබී ඇති අතර එම ඇඳුම්වල දෙමළ ඩයස්‌පෝරාවේ ලාංඡනය හෙවත් කොටියෙකුගේ සලකුණක් සහිත ඇඳුම් ලබා දීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කර ඇත. මෙහිදී බොක්සින් කණ්ඩායමේ පුහුණුකරුවන් ඊට එරෙහි වීමත් සමග එලෙස ලබාදුන් ඇඳුම් භාවිත කිරීම සිදුකර නොමැත. මේ අනුව පෙනීයන්නේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත ඩයන් ගෝමස් විසින් නිකලස් විටාලේස්ව එංගලන්තය බලා රැගෙන යාමට කටයුතු කර ඇති බවයි.
සුදුසුකම් නොලත් තවත් ක්‍රීඩකයින් එංගලන්තයට රැගෙන යාම.
2022 පොදුරාජ්‍ය මණ්ඩලිය තරගාවලිය සඳහා සහභාගී වන බොක්සින් කණ්ඩායම තේරීම සඳහා තේරීම් තරගාවලි දෙකක් පවත්වා ඇත. මෙම තරගාවලි දෙකෙන් ඉහළම දස්කම් දක්වන ක්‍රීඩකයින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට නියමිතව තිබිණ. කෙසේ නමුත් කිලෝග්‍රෑම් 64 බර පන්තිය නියෝජනය කරමින් තරඟ වැදුණු සංජීව රාජකරුණා ක්‍රීඩකයා එක් තෝරා ගැනීමේ තරගාවලිය සඳහා පමණක් සහභාගී වී ඇති අතර, දෙවන තෝරාගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වී නොමැත. ඒ අනුව 2022 පොදුරාජ්‍ය මණ්ඩලය තරගාවලිය සඳහා කිලෝග්‍රෑම් 64 බර පන්තිය නියෝජනය කරමින් සහභාගි වීමට සුදුසුකම් ලබා ඇත්තේ, නාවික හමුදාවේ DLPR කුමාර ක්‍රීඩකයයි. නමුත් ඩයන් ගෝමස්ගේ අවශ්‍යතාවය මත සංජීව රාජකරුණා ක්‍රීඩකයාද මෙම තරගාවලියට මුවා වී එංගලන්තයට රැගෙන යාමට ඩයන් ගෝමස් විසින් කටයුතු කර ඇත.
එංගලන්තයේදී හිතාමතා තරග පරාජය වීම
මෙලෙස එංගලන්තයට රැගෙන ගිය ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් තමන් මුහුණ දුන් තරග හිතාමතාම පරාජය වූ බවක් දිස් වූ බව මෙම තරගාවලියට සහභාගී වූ බොහෝ දෙනා තුළ කතාබහට ලක්වී ඇත. ඒ අනුව ඔවුන් මුහුණ දුන් පළමු තරඟයෙන්ම පරාජය වී ඉන් අනතුරුව කණ්ඩායමෙන් මිදී පලායාමට කටයුතු කර ඇත. මේ සියලු කාරණා සඳහා සෘජුවම මග පාදා දීමට එවකට බොක්සින් සභාපති ඩයන් ගෝමස් කටයුතු කර ඇති බව මනාව පැහැදිලි වේ.
පලා ගිය ක්‍රීඩකයින්ට රතු නිවේදන
2022 පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලිය අතරතුරදී මෙලෙස පලා ගිය ක්‍රීඩකයින්ට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කරන බව 2025 ඔක්තෝබර් 19 වන දින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ ප්‍රවෘත්ති පලවිය. මින් භීතියට පත් ඩයන් ගෝමස් මෙම සිදුවීම යටපත් කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයන්ගෙන් රැකවරණය අපේක්ෂාවෙන් කටයුතු කරන බව පෙනී යයි. විශේෂයෙන් වර්තමාන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙන්ම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය චතුරංග අබේසිංහ යන මහත්වරුන් තම ළඟම හිතවතුන් යැයි පෙන්වීමට කටයුතු කරමින් ආණ්ඩුවේ රැකවරණයක් බලාපොරොත්තු වන බව පෙනී යයි.
ශ්‍රී ලංකාවේ ජෝර්ජියා ගරු කොන්සල්වරයා හා ජාත්‍යන්තර බොක්සින් සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස සිටිමින් මෙලෙස මිනිස් ජාවාරම් සිදුකරමින් ශ්‍රී ලංකාවට අපකීර්තියක් එක් කිරීමට කටයුතු කරන ලද මෙවන් පුද්ගලයින් වර්තමාන ආණ්ඩුව විසින් ද රැකීමට කටයුතු කරන්නේ නම් එය මහත් කණගාටුවකි. මොහු විසින් සිදුකරන ලද තවත් මෙවන් මිනිස් ජාවාරමක් පිළිබඳව ඉදිරියේදී කරුණු හෙළි කිරීමට අප සූදානම්.



