19.5 C
New York
Friday, June 5, 2026
spot_img

ඩයන් ගෝමස් යකා නටයි. රජයේ ගැසට් නිවේදන පිළිගැනීමට නොහැකි බව කියයි.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ 2026 වසරට අදාළ මහා සභා රැස්වීම හා නිලවරණය, 2026 මැයි මස 29 වන දින ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා 2026 වසරට ඡන්ද බලය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බොක්සිං ක්‍රීඩා සමාජ 21 ක්‌ හා අනුබද්ධ ක්‍රීඩා සමාජ රැසකක්‌ සහභාගී විය. 1973/25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව සෑම ක්‍රීඩා සංගමයක් ම වසර දෙකක් පාසා නිළවරණය පැවැත්විය යුතුය. ඒ අනුව ශ්‍රී ලංකා බොක්සිං සංගමයද, ජාතික ක්‍රීඩා පනත හා ශ්‍රී ලංකා බොක්සිං ව්‍යවස්ථාවට අනුකූලව, මෙම මහ සභා රැස්වීම හා නිලවරණය කැඳවා තිබුනේ සුදුසුකම් ලත් නිලවරණ කමිටුවක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ද පූර්ණ අධීක්ෂණය යටතේය.

මහ සභා රැස්වීම ආරම්භ වනවාත් සමගම නැගී සිටි ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපති වරයකු වන ඩයන් ගෝමස් මෙම මහ සභාව නීති විරෝධී බවත් මහ සභා රැස්වීම හා නිලවරණය කල් දැමිය යුතු බවත් ප්‍රකාශ කරමින් සභාවේ කටයුතුවලට බාධා කරන ලදී. එහිදී ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ විගණකාධිපති විසින් සහතික කරන ලද 2025 වසරේ විගණන වාර්තාව නොමැතිව මහා සභා රැස්වීම පැවැත්වීම නීති විරෝධී බවයි. කිසිසේත්ම විගණනය කරන ලද 2025 ගිණුම් වාර්තාව සභාවට ඉදිරිපත් නොකර මහ සභා රැස්වීම පැවැත්වීම තහනම් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ ශානක බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වාර්ෂික ගිණුම් වාර්තාව විගණන දෙපාර්තමේන්තුව වෙත මේ වන විටත් යොමු කර ඇති අතර, එය තහවුරු කිරීම සඳහා විගණන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා බොක්සින් සංගමය වෙත ලබාදෙන ලද ලිපියද සියලු සමාජික ක්‍රීඩා සමාජ වෙත යොමුකර ඇති බවත්ය. එසේම මේ වන විට ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වාර්ෂික ගිණුම් වාර්තාව ජාතික විගණන කාර්යාලය විසින් විගණනය කරමින් පවතින බවත්, එය මහ සභාව හා නිලවරණය පැවැත්වීම සඳහා බාධාවක් කර නොගන්නා ලෙසත් දන්වා ජාතික විගණන කාර්යාලය වෙතින් නිකුත් කරන ලද ලිපියද, සභාගත කරන ලදී. එසේම ඔහු තවදුරටත් ඔහු සඳහන් කළේ 2025 මැයි 21 වන දින නිකුත් කරන ලද අංක 2437/24 දරණ ගැසට් නිවේදනයේ 11.4 හා 11.5 යන වගන්ති ප්‍රකාරව මහා සභා රැස්වීම හා නිලවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නොමැති බවයි.

මෙහිදී නැවත වරක් සභාවේ කටයුතු වලට දැඩි බාධා එල්ල කරමින් ඩයන් ගෝමස් පවසා සිටියේ ගැසට් නිවේදන කිසිසේත් පිළිගැනීමට නොහැකි බවත් මෙම මහ සභා රැස්වීම හා නිලවරණය අනිවාර්යයෙන් කල් දමා, විගණනය කරන ලද ගිණුම් වාර්තාව සභාගත කිරීමෙන් පසුව මෙම මහ සභාව නැවත කැඳවිය යුතු බවයි.

මෙහිදී ඔහු උත්සාහ කළේ සභාවේ කටයුතු වලට බාධා එල්ලකර මෙම මහ සභා රැස්වීම හා නිලවරණය කඩාකප්පල් කිරීමටය. ආචාර්ය අනුරුද්ධ ශානක බණ්ඩාර විසින් සභාවේ රැස්ව සිටි විධායක කමිටු සාමාජිකයින්, ඡන්ද හිමි ක්‍රීඩා සමාජ හා අනුබද්ධිත ක්‍රීඩා සමාජ වෙත ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර තිබූ ලිපි ලේඛන හා රජය ගැසට් නිවේදන, ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාවේ ඒකමතික තීරණය අනුව මහා සභා රැස්වීම හා නිලවරණය ඉදිරියට පවත්වාගෙන යෑමට කටයුතු කරන ලදී.

සුදුසුකම් ලත් නිලවණ කමිටුවක හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ 2026 නිලවරණය හා මහා සභාව සාර්ථකව පවත්වන ලද අතර එහිදී නැවත වරක් ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ සභාපති ලෙස ඉදිරි වසර දෙක සඳහා ආචාර්ය අනුරුද්ධ ශානක බණ්ඩාර පත්වූයේ නිතරගයෙනි. ඊට අමතරව උප සභාපතිවරුන් ලෙස මේජර් ජෙනරාල් ජානක පල්ලේකුඹුර හා කමාන්ඩ උදේවීර කුමාරණතුංග යන නිලධාරීන් තේරී පත්විය. සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කෝමා්දෝරු අර්ජුන ලංකා පෙරේරා, උප ලේකම් ලෙස මේජර් ජෙනරාල් කසුන් අධිකාරී හා උප භාණ්ඩාගාරික ලෙස සමින්ද රණසිංහ පත් වූයේ නිතරගයෙනි.

වසර 23 ක කාලසීමාවක් ‍ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාවේ ගෝඩ් ෆාදර් ලෙස තමන්ගේ බලය පතුරුවමින් අත්තනෝමතිකව ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාව මෙහෙයවනු ලැබූ ඩයන් ගෝමස් දැන් තමන්ගේ බලය අහිමි වීම පිළිබඳව වියරු වැටී සිටින බවක් පෙනී යයි. එම නිසා පසුගිය වසර දෙකේ මෙන්ම, ඉදිරියේදී ද, ශ්‍රී ලංකා බොක්සිං නව කළමනාකාරීත්වයේ කකුලෙන් ඇදීම සිදුකරනු නොඅනුමානය. ඔහුට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාව ඩයන් ගෝමස් නොමැතිව සිදුකර නොහැකි බවට රටට හා ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමයි. නව පරිපාලනය යටතේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාව විසින් අත් කරගන්නා ලද සංවර්ධනය හා ජයග්‍රහණ ඩයන් ගෝමස්ට ඉවසුම් නොදෙන බව පෙනේ.

වසර ගණනාවක් ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙහි පරිපාලනය මෙහෙය වූ ඩයන් ගෝමස් හට ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ ඡන්ද බලය පවා නොමැත. ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙහි ඡන්ද බලය ලබාගැනීමට නම් අවම වශයෙන් වසරක් තුළ, ක්‍රීඩකයින් පස් දෙනෙකු ප්‍රධාන පෙළේ තරගාවලි සඳහා ඉදිරිපත් කළ යුතු නමුත්, ඔහුට ඒ සඳහා ද ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමට නොහැකි වීමද අවධානය යොමු විය යුතු කරුණකි. ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන ඩයන් ගෝමස් ගේ ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ඡන්ද බලය හිමිකර ගැනීමට ද පසුගිය වසර කිහිපයේ අසමත් වී ඇත. ඒ අනුව ඔහුගේ වෙස්ගේට් ක්‍රීඩා සමාජය, අනුබද්ධිත ක්‍රීඩා සමාජයක් පමණි. තත්වය එසේ තිබියදී වර්තමාන පරිපාලනයෙහි කකුලෙන් අදිමින්, බොක්සිං ක්‍රීඩාව තුළ තමන්ගේ අණසක පැතිරවීමට දරණ උත්සාහය පිළිකුල් සහගතය.

ඩයන් ගෝමස් මහතාණෙනි, ඔබට ගෞරවනීය ලෙස බොක්සිං ක්‍රීඩාවෙන් සමුගෙන යාමට තිබූ අවස්ථාවන් ඔබ විසින්ම අහිමි කරගනිමින් සිටින බවක් පෙනී යයි. බොක්සිං ක්‍රීඩාව යනු ඩයන් ගෝමස් නොවන බව ඔබ තේරුම් ගත යුතුය. උගත් බුද්ධිමත් දක්ෂ, වගකිවයුතු නිලධාරීන්ගෙන් සමන්විත නව පරිපාලනයක් දැන් බිහි වී ඇත. හිටපු සභාපතිවරයෙක් ලෙස ඔබ කළ යුත්තේ ඔවුන්ගේ ගමනට බාධා කිරීම නොව, ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩාව වෙනුවෙන් ඔවුන්ට සහාය දැක්වීමයි. ඔබට සත්‍ය අවබෝධ වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles