ශ්‍රී ලංකාවේ ජෝර්ජියා ගරු කොන්සල් වරයා බොක්සිං ක්‍රීඩාවට මුවා වී, තම හිතවතුන්ට යුරෝපා වීසා ලබාදීමේ මගඩියක.
ශ්‍රී ලංකාවේ ජෝර්ජියා ගරු කොන්සල්වරයා ලෙස කටයුතු කරන ඩයන් ගෝමස් සම්බන්ධයෙන් බොක්සිං ක්‍රීඩාව මුවාවෙන් යුරෝපා රටවල වීසා ලබාදීමේ ක්‍රියාවලියකට සම්බන්ධ වී ඇති බවට චෝදනා මතුව තිබේ.
එම චෝදනා අනුව, ඔහු සිය රාජතාන්ත්‍රික තනතුර මෙන්ම ජාත්‍යන්තර බොක්සිං ක්ෂේත්‍රයේ දරණ තනතුරු භාවිත කරමින්, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල අනුමැතියකින් තොරව, තම පෞද්ගලික බොක්සිං සමාජය වන වෙස්ට්ගේට් ඉන්ටර්නැෂනල් ක්‍රීඩා සමාජය හරහා ක්‍රීඩකයන් ජාත්‍යන්තර තරග සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.
මෙම චෝදනාවලට අදාළ නවතම සිදුවීම ලෙස ප්‍රංශයේ පැවැති Les Ceintures Boxing Tournament 2026 තරගාවලියට යසිඳු ප්‍රේමරත්න නමැති ක්‍රීඩකයා සහභාගි කරවා ඇති බවට සඳහන් වේ. එම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ ප්‍රධාන තරගාවලි සඳහා සහභාගි වී නොමැති අතර, පාසල් මට්ටමේ තරගවලට පමණක් සහභාගි වූ ක්‍රීඩකයෙකු බවත්, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නිල අනුදැනුමකින් තොරව මෙම සහභාගීත්වය සිදුවී ඇති බවටත් චෝදනා එල්ල වී ඇත.
තවද, එම තරගාවලියේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත්තේ ක්‍රීඩකයාගේ පියා වන නලින් ප්‍රේමරත්න නැමැත්තා බවත්, ඔහු මිහිඳු බොක්සිං ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා බවත් සඳහන් වේ.
මීට පෙර ද ඩයන් ගෝමස් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවට චෝදනා ඉදිරිපත් වේ. ඒ අතරින් 2022 වසරේ එංගලන්තයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු කණ්ඩායමෙන් ඉවත්වීමේ සිද්ධිය විශේෂ අවධානයට ලක්ව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ද සිදුකරමින් ඇති බව සඳහන් වේ.
මෙම සියලු චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් පවත්වා, ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බොක්සිං සංගමය සහ අදාළ බලධාරීන් විසින් කරුණු පැහැදිලි කිරීම සහ අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව අදහස් පළ වේ.



